අතීසාරයට අමුඩ ගැසූ නොරොච්චෝලේ බලාගාරයේ කතන්දරය නොරොච්චෝලේ ගල් අඟුරු විදුලිබලාගාරය නැවත වතාවක් අකර්මණ්‍යවී ඇත. එක පැත්තකින් සිහිබුද්ධියෙන් මේ රටේ ජීවත්වූ මිනිසුන්ට එය අලුත් පුවතක් නොවේය. නිතර ඇසෙන පුවතක් නිසා දැන් දැන් ලංකාවේ මිනිස්සු නොරොච්චෝලේ පැත්තෙන් එන පුවත් ගැන එතරම් අවධානයක් යොමු කරන්නේද නැත. කෙසේ වූවත් ගල්අඟුරු බලාගාරය අක්‍රීයවීම නිසා අනුරාධපුරයේ සිට චුන්නාකම් දක්වා උතුරු මාර්ගය ඔස්සේ විදුලිය සැපයුම සිදුකරන ප්‍රධාන පද්ධතිය අකර්මණ්‍යව ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශවලට විදුලිය සැපයෙන්නේ නැත. රටක ප්‍රධාන විදුලි බලාගාරයක් මෙලෙස නිරන්තරයෙන් බිඳවැටීම යනු ලෙහෙසියෙන් පහසුවෙන් ඉවත දැමිය හැකි සිදුවීමක් නොවේ. ශ්‍රී ලංකාවට පමණක් නොව බොහොමයක් ආසියාතික රටවල්වලට බලපාන දරුණු බලශක්ති අර්බුදයක් සම්බන්ධයෙන් විදේශීය පරීක්ෂකයන් විසින් මුලින්ම අනතුරු හඟවනු ලැබුවේ 1980 දශකයේ අගභාගයේදී පමණය. එම වාර්තාවල නිර්දේශයන් බොහොමයක් ඉදිරිපත් කර තිබූ අතර සුනිත්‍ය බලශක්ති පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස අවධාරණය කර තිබුණි. නමුත් ශ්‍රී ලංකාව ඒ වනවිට විදුලිය උත්පාදනය සඳහා වැඩි වශයෙන් භාවිතා කලේ ජලවිදුලිය විය. වනාන්තර විනාශය වේගවත්වීම සහ ජල පෝෂක හීනවීම සමග ජලවිදුලියේ පැවැත්ම අවදානම් අඩියකට ඇදීයන බව මෙරට විදුලි නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රවීණයන් හඳුනාගන්නා ලදි. ඒ නිසාවෙන් සුනිත්‍ය බලශක්ති විකල්පයන්ට යන අතරම පවතින තත්ත්වය හඳුනාගෙන අඩුවෙමින් යන ජලවිදුලිය උත්පාදන ශක්‍යතාව සහ වැඩිවෙමින් පවතින විදුලි ඉල්ලුම සැලකිල්ලට ගෙන විකල්ප සොයන්නට සිදුවී ඇතැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙන්වා දුන්නේය. නොරොච්චෝලේ ආරම්භය 2005 දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය විසින් යෝජනා කරන ලදුව 2006 මැයි මස 11 දින වැඩ ආරම්භකල නොරච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය අදියර තුනකින් සමන්විත විය. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මේ ප්‍රදේශයේ ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරන අවස්ථාවේම අවට ජනතාව එයට දැඩිසේ විරෝධතාවක් දැක්වූ අතර පරිසර සංවිධානද එම විරෝධතා ඉදිරියට ගෙනයාමට මැදිහත්වුණි. ඔවුන්ගේ තර්කය වූයේ නොරොච්චෝලේ ප්‍රදේශය වනාහි දියුණු වෙරළාශ්‍රිත පරිසර පද්ධතියක් පවතින ප්‍රදේශයක් බැවින් ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමෙන් එයට දැඩි හානි සිදුවිය හැකි බවත්, පාරිසරික හානි හේතුවෙන ජන ජීවිතයද දැඩි අවදානමකට ලක්වනු ඇති බවයි. එසේම බලාගාරය නිසා ඉඩම් සහ වාසස්ථාන අහිමිවන ජනතාවද එයට දැඩි විරෝධයක් එක්කරන ලදි. එහෙත් එවකට රජය එම විරෝධතාකරුවන්ට පොරොන්දුවූයේ නොරොච්චෝලේ බලාගාරය පාරිසරික වශයෙන් හිතකර ආකාරයට ගොඩනංවන බවටයි. බලාගාරයේ ප්‍රථම අදියර 2011 මාර්තු මස 22 එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් විවෘත කෙරුණු අතර එකල්හි විදුලිබල අමාත්‍යවරයා වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තාක්ෂණික සෙවණැල්ල පරිද්දෙන් ක්‍රියාකල පාඨලී චම්පික රණවක මහතාය. පළමු අදියර අවසන් කරන්නටත් පෙර 2010 දී දෙවන සහ තෙවන අදියර ආරම්භ කිරීමට එවකට විදුලි බලධාරීන් ඉදිකිරීම් සිදුකල ඉංජිනේරුවන්ට නියෝග ලබාදෙන්නේ විදුලි බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ තඹ සතයක අවබෝධයක් ඇතිව නොවන බව පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් පළමු අදියරේ වැඩ අවසන් කර විදුලි සැපයුම ජාතික පද්ධතියට එක් කරන්නටත් පෙර 2010 ඔක්තෝම්බර් 24 බලාගාරයේ ඇතිවුණු ගින්නක් හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වය බිඳ වැටිණි. අදාල ගින්න සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කල එවකට විදුලිබල අමාත්‍යවරයා කියා සිටියේ ගින්න නිසා බලාගාරයට හෝ රජයට කිසිඳු පාඩුවක් නොමැති බවත් පාඩුව සිදුව ඇත්තේ ඉදිකිරීම් කරන චීන් සමාගමට බවය. ඒ නිසා අදාල පාඩුව ඔවුන් විසින් දරාගත යුතු බවට හතරබීරී ප්‍රකාශයක් කරන ලදි. දිගටම ඩවුන්පරිසරයටත් බරපතල හානි නැවත වතාවක් 2012 වර්ෂයේ අගෝස්තු 8 වැනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිට ජාතික විදුලිබල පද්ධතියට විදුලි සැපයුම සිදුකරන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ සිදුවූ බිඳවැටීමක් නිසා එහි විදුලි සැපයුම අඩපණ විය. එය යථා තත්ත්වයට පත්කරන්නට චීන සහ ලංකා ඒකාබද්ධ ඉංජිනේරු ප්රයත්නය සාර්ථක වන්නේ දවස් ගණනාවකට පසුය. ඒ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබූ මෙගා වොට් 300 ධාරිතාව දින ගණනාවක්ම රටට අහිමිවිය. පළමු අදියර ඉදිකර වසරක් ගතවූ සැනින් දිගින් දිගටම සිදුවන බිඳවැටීම් නිසා එකල නොරොච්චෝලය රටේ ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්විය. බොහෝ දෙනෙක්ට තිබූ ප්රශ්නය වූයේ “අලුත්නම් මෙහෙම ලෙඩ දෙන්නේ කොහොමද“ යන්නය. මෙම බලාගාරය ඉදිකිරීම සඳහා රජය සමග ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ චීනයේ China National Machinery Import & Export Corp නැමැති සමාගමය. කෙසේ වෙතත් එවකට අදාල සමාගමට ලොව ඉදිකිරීම් සහ කර්මාන්ත ක්ෂේත්රයේ පැවතියේ හොඳ නමක් නොවේය. ඇමරිකානු ඩොලර් බිලියන 1.35ක මුළු වියදමක් සහිත නොරොච්චෝලේ දිගින් දිගටම බිඳ වැටෙන්නට බොහෝ හේතු තිබුණි. එසේ නොරොච්චෝලේ බිඳවැටෙන හැම අවස්ථාවකම විදුලි බල ඇමතිවරයා ඇතුළු රජයට කියන්නට හේතු සාධක විශාල ගණනක් තිබිණි. එසේම ඒ හැම අවස්ථාවකම කිසිඳු විලි ලැජ්ජාවකින් තොරව මුළු දිවයිනටම සැපයෙන විදුලිය දවසකට පැය ගණනක් විසන්ධිකර තබා රෙදි කඩකින් විලි වසාගන්නට රජයට සිදුවිය. ඒ බොහොමයක් කාරණාවලින් පෙනෙන්නට තිබුණේ ලක්විජය බලාගාරය නිසි ප්‍රමිතියට ඉදිකිර නැති බවය. එසේ නිසි ප්‍රමිතියට රජයේ ව්‍යාපෘතියක් ඉදිකිරන්න නොහැකිවන්නේ එක්කෝ කොමිස් කුට්ටි නිසා බලාගාරයේ ඉදිකිරීම් ගුණත්වය පහල වැටීම නිසා හෝ, අසමත් ඉදිකිරීම් සමාගමකට අත්පිට වාසි මත ඉදිකිරීම් ලබාදීම හේතුවෙන්ය. සැබෑ ලෙසම නොරොච්චෝලේ බලාගාරයේ සිදුවීම පිටුපස ඒ සාධක දෙක මෙන්ම අභ්‍යන්තර නිලධාරීන්ගේ ගැටළුද බලපාන බවට පෙනෙන්නට තිබුණි. නැවත වතාවක් 2013 වර්ෂයේ අවස්ථා දෙකකදී එය බිඳ වැටුණු අතර 2014 වර්ෂයේදීද කිහිප වතාවක්ම නොරොච්චෝලේ අක්‍රියවීම සිදුවිය. වරක් එහි අභ්‍යන්තර ඉංජිනේරුවන්ගේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සිදුවෙනවාද යන සැකයද මතුවිය. කෙසේ වෙතත් 2015 අවස්ථා කිහිපයකදී අක්රියවුණු ලක්විජය බලාගාරය 2016 වසරේද දෙවනි වතාවට අක්‍රියවී ඇත. වැඩ ඉවරයි, ලෙඩ ඉවර නැත 2014 වර්ෂයේ සැප්තැම්බර් 16 මස ලක්විජය බලාගාරයේ දෙවන සහ තෙවන අදියරේ වැඩ කඩිනමින් ඉදිකර එය විවෘත කරන්නට එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන්නේ 2014 වර්ෂයේ අවසානයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර එහිදී වාසි ලබාගැනීමේ අරමුණින්ය. කඩිනම් මහවැලි ව්‍යාපෘතියට සිදුවූ වින්නැහියට නොඅඩු වින්නැහියක් නොරොච්චෝලේ බලාගාරයට සිදුවන්නේද පටු දේශපාලන අරමුණු සහා සාක්කුවට වැටුණු ඩොලර් වලට පින්සිදු වන්නටය. එහෙත් ක්‍රියාත්මකවන දින ගණනට වඩා අඩපණව තිබෙන දින ගණන වැඩිවූ ලක්විජය බලාගාරය සුදු අලියෙක් බවට එකල විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක්ම මත පලකර තිබුණි. මෙලෙස විටින් විට කැඩි කැඩී තිබුණු ලක්විජය බලාගාරය පසුගිය පෙරබරවාරි මාසයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වීම නිසා එහි විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට සිදුවිය. යහපාලන රජයට ද ඒ අනුව රටපුරා කාලසටහනක් අනුව විදුලිය අත්හිටවන්නට සිදුවූ අතර එය රජය පාර්ශවයට දැඩි චෝදනා ගෙනදුන් සිදුවීමක් විය. එහෙත් සැබෑ ලෙසම නොරොච්චෝලේ කරච්චලයට වගකිව යුත්තේ මේ රජය නොවන බව පමණක් අවබෝධකරගැනීම වැදගත්ය. සුළු දෝෂයක්? පසුගියදා නැවත වතාවක් සිදුවූ බිඳවැටීම හේතුවෙන් නැවත විදුලි කප්පාදුවකට යාමට රජයට සිදුවිය. විදුලිබල අමාත්‍යවරයාට අනුව මෙවර සිදුව ඇත්තේද විදුලි ජනන යන්ත්‍රවල සුළු කාර්මික දෝෂයක් වන අතර අදාල “සුළු කාර්මික දෝෂය නඩත්තු කර නැවත යථා තත්ත්වයට පත්කරන්නට මාසයක් පමණ ගතවනු ඇති බවයි. එහෙත් අදාල මතයට විරුද්ධව අදහස් දක්වන ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා සඳහන් කර ඇත්තේ මෙම අකර්මණ්‍යවීමට හේතුව විදුලි ජනන යන්ත්‍රයේ ප්‍රශ්නයක් නොවන බවය. ඔහු සඳහන් කරන පරිදි නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් නිකුත් කරන විදුලි සැපයුම අධි සම්ප්‍රේෂණ රැහැන් මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරයි. එකක් හලාවත හරහා වේයන්ගොඩ උප පොලෙන් සහ අනික් මාර්ගය අනුරාධපුරය හරහා කොත්මලේ උපපොලින්ද ජාතික විදුලිබල පද්ධතියට එක්වේ. මේ සම්ප්‍රේෂණ මාර්ග දෙකම ගමන් කරන්නේ බොහෝවිට කුඹුරු සහ හේන් වලට ඉහළින්ය. මේ දිනවල අධික වර්ෂා රහිත කාලගුණික තත්ත්වය නිසා කුඹුරු සහ හේන් ගිනි තබා ඇති අතර ඒවායේ අළු විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල දැවටී වර්ෂා අවස්ථාවලදී විදුලි කාන්දුවීම්වලට මග පාදා දෙයි. ඒ නිසා විදුලි පද්ධතියේ විලායකයන් (ෆියුස්) වලට හානි සිදුවී සම්ප්‍රේෂණ මාර්ගයේ සමතුලිතතාව බිඳවැටීම සිදුවේ. මේ නිසා අධිබලැති විදුලි ධාරිතාවේ ගමන්මග වැලකීම නිසා විදුලි ජනන යන්ත්‍ර ස්වයංක්‍රීයව සැපයුම නතරකරන බවත්, එය නැවත පණගැන්වීමට දින කිහිපයක් ගතවන බවත් ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. සත්‍යම කතාව එයද යන්න පැහැදිලි නැත. නමුත් ඒ තර්කයේද පිළිගත යුතු සත්‍යයක් ඇත. බාල ගල් අඟුරු කතාව පසුගිය රජයේ විදුලිබල ඇමතිනිය වූ පවිත්‍රා වන්නිආරච්චි 2014දී පාර්ලිමේන්තුවේ කතාවක් අතර කියා සිටින්නේ බාල ගල්අඟුරු ගෙන්වීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 1057 ක පාඩුවක් සිදුව ඇති බවය. ලක්විජ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සපයන්නේ ලංකා කෝල් සමාගම (LCC)විසිනි. ඔවුන් ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා නොබෙල් (Nobel Resources Ltd.) සමාගම සමගද, ගල් අඟුරු ප්‍රවාහනය සඳහා රාජ්‍ය නැව් සංස්ථාව සමගද ගිවිසුම්ගත වී සිටිති. (2010 සිට) ලංකා කෝල් සමාගමේ අයිතිය ලංකා විදුලි බල මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, නැව් සංස්ථාව හා වරාය අධිකාරිය විසින් උසුලනු ලැබීය. 2009 වසරේ සිටම අදලා ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීම සහ සැපයුම් සිදුකිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධ බරපතල ගැටළු පවතින අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ බාල ගල් අඟුරු මගඩිය නිසා ලක්විජය බලාගාරයට හානි සිදුවී ඇති බව ඇතැම් විශේෂඥයන්ගේමතය වී ඇත. බලාගාරය සතු උපරිම ධාරිතාව මෙගා වොට් 285 වේ. එය එම උපරිම ධාරිතාවෙන් දුවන්නේ දිනකට පැය 03-04 ක් පමණි. (රාත්‍රී 6.30-10.30) ඉතිරිය අඩු ජවයකින් දුවන අතර, මේ නිසා වසරකට මිලියන 1700-2500 අතර පාඩුවක් සිදුවන බව මොරටුව විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනකින් පෙන්වා දී ඇත. මූල්‍යමය පාඩුව මෙන්ම බලාගාරයේ යන්ත්‍ර සූත්රවලටද ගල් අඟුරු මගඩියෙන් හානි සිදුව ඇති බව දැන් පැහැදිලිය. සාමාන්‍යයෙන් ලොව ඕනෑම නව ගල් අඟුරු බලාගාරයක ගල් අඟුරු සපයාගන්නා ආකාරය සහ ඒවා දහනස සඳහා යොදාගන්නා ආකාරය මෙන්ම යන්ත්රසූත්ර නඩත්තු කරන ආකාරය පිළිබඳවද පිළිගත් සම්මතයන් ඇති නමුත් ලක්විජය බලාගාරයේ පරිපාලනය ඒ බොහෝ සම්මතයන් තුට්ටුවකට මායිම් නොකර කටයුතු කර ඇත. ඒ නිසාවෙන් බලාගාරයේ දිගින් දිගටම සිදුවන ඇණහිටිම්වලට ඔවුන් සෘජුවම වගකිව යුතුය. එසේම බාල ගල්අඟුරු වංචාවට උඩගෙඩි දුන් දේශපාලඥයන් සහ නිලධාරීන් මේ ජාතික අපරාධයට මූලික වශයෙන් වගකිව යුතුය. 2011 වර්ෂයේ පමණක් බලාගාරය අඩපණවීම නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 15000 ක් බව දැනගන්නට ලැබේ. රිසරයටත් බරපතල හානි මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය පවා උල්ලංඝනය කරමින් ඉදිකළ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය නිර්මාණය වන්නේ හරිහමින් පරිසර තක්සේරු වාර්තාවක්වත් සකස් කරමින් නොවේය. සුනිත්‍ය බලශක්ති ප්‍රභවයක් ලෙස සූර්ය ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඉතා හොඳින් ඉර පායන සමකාසන්න රටවන ලංකාව කටයුතු නොකිරීම කොතරම් අඥාන ක්‍රියාවක්ද යන්න දිගින් දිගටම අබලන් වෙන ලක්විජය බලාගාරය ඉතා වැදගත් පාඩමක් කියාදී ඇත. ලෝකයේ බොහෝ රටවල් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන්ගෙන් උපරිම ඵල නෙලාගනිද්දී පරිසරයටද හෙණයක්වූ ගල්අඟුරු බලාගාරයක එල්ලී සිටින්නට සිදුව ඇත්තේ බලධාරීන්ගේ සහ රාජ්‍ය පාලකයන්ගේ නිර්මාණශීලී දැක්මක් හෝ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම නිසාබව සත්‍යයය. අර්බුදය හුන් තැනම, බෝලය පාස්වීම දිගටම 2013 වර්ෂයේදී නොරොච්චෝලේ අර්බුදය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක එක් අදහස් දැරූ අතර බාල ගල්අඟුරු ගෙන්වීමේ චෝදනාව සෘජුවම ඔහුට එල්ලවිය. නමුත් එහි බෝලය රාජපක්ෂ සමාගම වෙත පවරාදුන් රණවක ඇමතිවරයා තමන් ඒ සම්බන්ධයෙන් හාන්කවිසියක්වත් නොදන්නා බව කියා තිබුණි. විදුලිබල මණ්ඩලය පාර්ශවයෙන් කියා සිටියේ චීන සමාගම බලාගාරය ඉදිකර ඇත්තේ බාල චීන බඩුවලින් බවය. එසේනම් අදාල බාල චීන බඩු ලංකාවට ගෙන ආවේ කෙසේද? ඒවා එසේ ගෙනැවිත් සවිකරණ තෙක් ලංකාවේ නිලධාරීන් සිටියේ කොයි ලෝකයේද යන ප්‍රශ්න ඇසිය යුතුය. වසර ගණනාවක් තිස්සේම මෙම ලක්විජය බලාගාරය චීනයට විකුණා දමා විදුලි සැපයුම වෙනුවෙන් චීනයට කුලී ගෙවීමේ හරි අපූරු යෝජනාවක්ද ඉදිරිපත්ව තිබුණි. එමෙන්ම නිසි ප්‍රමිතියක් නොමැති යල්පැන ගිය ද්‍රව්‍ය උපයෝගී කරගත් නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉඳිකර ඇත්තේ අන්තර්ජාතික ප්‍රමිතින්ට වඩා අඩු මට්ටමකින් යැයි විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පසුගියදා පවසා තිබුණි. එබඳු අමුද්‍රව්‍ය යොදා බලාගාරය ඉදිකිරීමට පැවැති රජය එකඟත්වය පළකර ඇති නිසා කිසිදු වන්දියක් ඉල්ලිමට හෝ බලධාරීන්ට හැකියාවක් නැතැයිද ඔහු පවසා තිබුණි. ඒ හැම කාරණයකින්ම පෙනීයන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොතරම් කූඨ ආකාරයෙන් මෙවන් වූ ව්‍යාපෘති හරහා මහජන මුදල් ගසා කෑම සිදුව ඇතිද යන්නය. දැන් ගැටළුව තිබෙන්න් යහපාලන ආන්ඩුව මේ බලාගාරයට කුමක් කරාවිද යන්නය. තවමත් විදුලිබල ඇමතිවරයා වන්නේ පහුගිය ආන්ඩුවේත් සිටි ඇමතිවරයෙක් නිසා සිස්ටම් එකේ වෙනසක් බලාපොරොත්තුවිය නොහැකිය. වත්මන් රජයේ අරමුණ වී ඇත්තේද බිඳ වැටීම් මධ්‍යයේ හෝ බලාගාරය පවත්වාගැනීමට බව පැහැදිලිය. ඒත් කොතරම් කලක් එය එසේ සිදුකල හැකිද යන්න ගැටළුවකි.












