“..ඈ පිළිබඳ මගේ ප්‍රේමයේ අංශුමාත්‍රිය කලලය හදවත තුළ කවදා කොතැනකදී පිළිසිඳ ගත්තා දැයි මම නොදනිමි. ඒ කවදා වුවද කෙදිනක හෝ අය මගේ සිත සොරාගත් දවසකදීය. මම ඇයට ආදරය කළේ ඇයි? මම ආදරය කරන්නෙ ඇගේ මොනවාටද? යුවතියට මෘදු කැරලි හිසකෙස් ඇති බව සැබෑය. මල් පෙතිවන් දෙතොලුත්, තරුවන් ඇසුත් ඇති බව සැබෑය. පිරිපුන් ළමැදකුත්, පුළුල් නිතඹකුත් ඇති බව සැබෑය. තරුණයෙකුගේ නෙත ගැටුණ සැනින් වරක් දෙවරක් නොව සිය දහස් වරක් හොරෙන් රහසින් අගින් කොනින් අස්සෙන් මුල්ලෙන් ඇයව නැවතත්, නැවත නැවතත් දැක ගැනීමේ උවමනාවක් නිරායාසයෙන්ම ඇති කරවන මොළකැටි රූපකායක් ඇයට හිමිය. නමුදු මා ආදරය කළේ ඇගේ මේ සියල්ලටම නොවන බව මම දනිමි. ඇය පිළිබඳව සිතක් පහල වන්නට, ඈ පිළිබඳව ආකර්ෂණයක් හද තුල ජනිත වන්නට යට කී පසිඳුරන්ගේ සෝභාව හේතු පාදක නොවූවා යැයි කුහකයෙකු සේ ආත්ම වංචාකාරයෙකු සේ මම කිසිදාක නො කියමි. නමුදු දැන් ඒ සියල්ල නැතැත් ඇය අබ්බගාතයෙකු වුවත් මම ඇයට ආදරය කරමි. මගේ ජීවිතය සම්බන්ධ සකලවිද සිහිනයන් සොඳුරු පියුම් සේ මේ දහඅට හැවිරිදි සොඳුරු තරුණියගේ මනමාලකම්, කෝලකම් හා මොලකැටිකම් මත පූදිමින් තිබේ. මේ හීන මියැදුනු දවසක මට ජීවත් විය හැකිදැයි, නොහඬා සිටිය හැකිදැයි මම නොදනිමි. කියවා ඇති බොහෝ නවකතා වලදී මෙන් ඇය උදෙසා ඇස් ඉස් මස් ලේ දන් දීමෙන් හෝ එවන් පරිත්‍යාගයක් කිරීමෙන් ඇයව ලබන්නට තරම් දෛවය ඇයට කුරිරු නොවේවායි මම පතමි. දෙවියන්ගෙන් ඉල්ලනවා නම් මා පළමුවෙන්ම ඉල්ලන්නේ ඇයව මට ලබාදෙන ලෙස නොවේ. ඇයව ජීවිතය පුරා සතුටින් තබන ලෙසය. ගුරු ගීතයෙහි අල්තිනායි ගේ සැපත සතුට වෙනුවෙන් දුයිෂෙන් තම හදවතේ උපන් නිකැලැල් ප්‍රේමය සදාකාලිකව දන් දුන්නේය. එවැනි උදාර එනමුත් අප්‍රසිද්ධ පෙම්වතෙකු වීමේ නිරාමිස ආශාවකින් මම පෙළෙමින් උන්නෙමි. ආදරයක් පටන්ගත යුත්තේ එය ලැබුණු පසු ජීවත් වන අයුරු දෙස සිහින දැක ඒ ඔස්සේ නොවේ. නොලැබුණහොත් ඉන් එහා ජීවත්වන ආකාරය දෙස බලා ඊට සුදානම්වය. ..”
‘දුන්හිඳ හැඬුවා’ - සමන් එදිරිමුණි | ‘තරුණයා’ 2008 ජුනි 05 බ්‍රහස්පතින්දා







